අටුව

Wednesday, October 21, 2015

කුණු රස ආචාර ධර්ම

ළමා අපචාර මූලික කොටගෙන  බහුතරයක් ඊනියා සුචරිතවාදීන්ගේ අවමානයටත් සුළුතරයක් වූ කළු සුදු මිශ්‍ර පොලොවේ පය ගසා සිටින හෝමෝ සේපියන්ලාගේ අනුකම්පාවටත් බදුන්වූ " මාධ්‍ය භාවිතය " පිලිබඳ නැවතත් සමාජ කතිකාවතක් ඇතිවෙමින් පවතී. ලොව ස්මරණ ශක්තිය අතින් අග්‍ර ස්ථානයක පසුවන ශ්‍රී ලංකාවාසීන් මින් ඉක්බිතිවද මේ පිලිබඳ දැඩි අවධානයකින් පසුවනු ඇත.ඒ නිසාම ජනමාධ්‍ය තවදුරටත් ඒ ගැන බිය විය යුතු නැත.

තමාම සිය දිවි නසා ගන්නට උත්සාහ දරා හෝ නිව්ස් එක හිට් කරගන්නට දගලන නූතන මාධ්‍ය ආයතන දකිනවිට මාධ්‍යයේ සැබෑ වගකීම යනු කුමක් දැයි හෝඩියේ සිට උගන්නන්නට පටන්ගතහොත් යෙහෙකැයි සිතේ.තරඟකාරීත්වයද ,මිනිසුන්ගේ රුචිකත්වයද පෙරට ඇද දමමින් සුදනන් වීම කෙසේ වෙතත් එකම වරදකරුවන් තමා නොවන වග පෙන්වීමට ඔවුන් දරන උත්සාහය නම් අපූරුය.

සාමූහිකව වරදකරුවන් වීමට ඇති කොන්ද පණ නැති තත්වයත් , ඔවුන් කියනා පරිදි මිනිසුන්ගේ රුචිකත්වයට අනුව වැඩ කිරීමට ඇති රූකඩමය ආසාවත් ඇති වීමට තරම් මෙරටේ මාධ්‍ය ආයතනවල කශේරුකාව අංශභාග තත්වයේ ඇති බව නම් කිව හැකිය.

"මේ රටේ මිනිස්සු ඉල්ලන්නේ කුණු රස, තරඟකාරීත්වයයි ඉහලින් එන පීඩනයත් එක්ක අපට ඔවුන් ඉල්ලන දේ දෙන්න සිදු වෙනවා..."

ශ්‍රී ලංකාවේ ප්‍රධාන මාධ්‍ය ආයතන කිහිපයක වගකිවයුතු නිලධරයින් කිහිපදෙනෙකුම අද මාගේ දෑස් ඉදරිපිටදීම සිය මඩ ,මඩේ දමාම සෝදා ගත්තේ ඒ ආකාරයටය.

කුණු රස ඉල්ලද්දී එයම දෙන්නට තරම් මේ මාධ්‍ය ආයතන බාල්දු වනු දකින විට ඒවායේ සැබෑ පාලකයන්ට කියන්නට වෙන්නේ ඕක ළමයෙකුට දීපන් කියාය.මේ කියන කුණු රස ඉල්ලීම පිටුපස ඇත්තේ බුද්ධි සංවර්ධනයේ අඩුවකි. එකී අඩුව දෙගුණයකින් වැඩි වී ඉල්ලුමට සරිලන සැපයුම සපයන්නන් කෙරෙහි බලපැවැත්වෙන බව සිතා ගැනීම අසීරු නැත.

ඔවුන් කියනා ආකාරයට වර්තමානයේ ඇත්තේ පරිහානියට ලක්වූ විකෘති සමාජයකි.මෙවැනි අපචාරත් මේ කුණු රසට ඇති ඉල්ලුමත් ඒ නිසාවෙනි.එතකොට ඔවුන් මොක්කුදැයි අසන්නට සිතේ .සමාජය යනු ඔබත් මමත් යන මූලික සංකල්පයම කුණු කූඩයට දමා ඇවිලෙන සමාජ විකෘතියට බූමිතෙල් ගැලුම් ගණන් දමා දැන් දෙයියන්නාන්සේ සේ මේ සමාජයට තමා අයිති නැතිවාක් සේ ඇගිලි දිගු කරන්නන් සියල්ලෝම විශේෂ ජාන පරීක්ෂණයකට යොමු කල යුතුය.නුතන සමාජයේ හෝමෝ සේපියන් නමින් වෙනත් සත්ව කොට්ඨාශද වාසය කරති.

මාධ්‍ය ආයතනයකට වෙනත් ඕනෑම ආයතනයක් මෙන් ආයතනික සංකල්පය තුල කොටු වී සිටිය නොහැක.ජනමාධ්‍ය යන්නෙහි අර්ථයෙන්ම එය ජනතාව සඳහා වූවක් බව කියැවේ.ඉඳින් එය තවත් එක් ආයතනයක් යන තැනින් ඔබ්බට යා යුතුමය.එහිදී මිනිසුන්ගේ රුචිකත්වයේ බෙර පදයට සිත් සේ නටා , ඇතිවන අතුරු ඵල සියල්ලමත් මිනිසුන්ටම පටවා අත පිහදාගැනීමට තරම් නීච විය යුතු නැත.

වෙනසක් ගෙනෙන්නට හැක්කේ කොන්දක් ඇත්තෙකුට පමණී.එවැනි පෞෂත්වයකට අවධානමක් භාර ගැනීම අභියෝගයක් නොවනු ඇත.දැන් මෙරටේ මාධ්‍ය භාවිතයට එවැනි කොන්දක් අවශ්‍ය කර තිබේ.සිය රේටින්ග්ස් අවධානමට තබා එවැනි දෙයක් කල හැකි සවිමත් කොදු ඇට පෙලක් තැනෙන තුරු මේ අංශභාග තත්වය සුවකිරීම උගහටය.

          ------සඳුනිකා රත්නායක-----

1 comment:

  1. පෝස්ට් එකක් දාලා හුගාක් කල්.. ආයේ මකුළු දැල් කඩලා අරගමු ලියන්න...

    ReplyDelete

බියර් බෝතලේ

කළු කොළඹ දිය වෙන්න කොලම කොල පාට මුරුගන් වරුසාවක් වහින වෙලාවක අකුරුත් ඉඩ කඩ කඩාගෙන උඩපනින්නෙ තිත්ත පැටවු ගානට. ඇදේ ඉහත්තාවට පිටදීගෙන වාඩිලාගෙ...