අටුව

Thursday, May 25, 2017

බියර් බෝතලේ

කළු කොළඹ දිය වෙන්න කොලම කොල පාට මුරුගන් වරුසාවක් වහින වෙලාවක අකුරුත් ඉඩ කඩ කඩාගෙන උඩපනින්නෙ තිත්ත පැටවු ගානට. ඇදේ ඉහත්තාවට පිටදීගෙන වාඩිලාගෙන ඉන්න මට මතක් වෙන්නෙම අද උදැහැනකේ මං මේමම හිටපු වෙලාවක අපේ බෝඩිමේ ඇන්ටි කාමරේට කඩා බිඳගෙන ඇවිත්  කියෝපු පතරංග හෑලි ගැන. අකුණක් වගේ සිං ගාලා කඩා පාත් වෙලා ෆ්ලෑෂ් වගේ හොරු ටික අල්ලන්න නම් නෙමෙයි එයා ආවේ හෙණයක් වගේ පාත් වෙලා පීකරයක් වගේ කියෝගෙන කියෝගෙන යන්න.  ඒ කෝම වුනත් එයැයිගෙ හදිසි ආගමනයට හා  ආවේගයට හේතු භූත වෙලා තියෙන්නෙ මහා ලොකූ බියර් බෝතලයක් හා සූටිම සූටි බියර් ටින් දෙකක්. ආපු ගමන් මගෙන් ඇහුවේ, " කවුද මේකේ බියර් බොන්නේ"?? කියලා. දෙනවනම් දැන් වුනත් බොන්නම්කො කියන හරි සුන්දර හිතුවිල්ලත් එක්ක ආපු අහිංසකම හිනාවෙන් මං හරි විනීත විදියට උත්තර දුන්නා. " බියර්???  කවුද ඇන්ටි බියර් බොන්නෙ, අපේ කාමරේ කවුරුවත් බොන්නෙ නෑ " එහෙම ඇහැව්වට ඇන්ටිත් ඇවිල්ලා තියෙන්නෙ හෝම්ස් වගේ සියල්ල හොයාගෙන  " ඒක තමයි මං දන්නවා ඔයාලා එහෙම නෑ කියලා, ඒත් මං දන්නවා කවුද කියලා , ලබන සතියෙ මං අරිනවා උන්දැව ගෙදර " 

ආ ඔය තියෙන්නෙ, මේ කියන්නෙ එහා කාමරේ ඉන්න ගෑනු ලමයි දෙන්නා ගැන.  මේ බියර් බෝතලේ මතුවෙන්න කලියෙන් අපේ ඇන්ටිට ඒ දෙන්නව පෙන්නන්න බැරුව හිටියෙ ,එකම හේතුව කොටට ඇඳීම. දැන් ඉතින් එයාලට අබ සරණයි. කොට ඇදුමක් අස්සෙ බියර් ටින් එහෙකුත් පටලවගෙනනනෙ. ඇන්ටිට අනුව නැහැදිච්ච, උද්දච්ච, නොසන්ඩාල ඒ දැරිවියන් දෙන්නා ගැන මට නම් හරිම අනුකම්පාවක් දැනුනත් ඉතින් උපාසක බැලලියෙක් වාගේ මාත් ඉතින් අහං හිටියා. ඒ වෙලාවෙ මං හිත හිත හිටපු ඒවා බැරිවෙලාවත් එයාගේ හෝම්ස් ඥානයට පෙනුනනම් එහෙම හෙටඉදන් මටත් ඉන්න වෙන්නෙ විජේරාමේ බෝ ගහ යට තමා.

මං හිත හිත හිටියෙ අන්තිමට බියර් වීදුරුවක් තොල ගාලා පිස්සු නටපු ඒ මනරම් දවස ගැන , එදා ඔමාලියාගෙ වෙඩිම.  පෙණ දදා තිබුනු තඩි බියර් වීදුරුව දැක්කම මට බොන්නම හිතුනා. අනික මට බොන්න අවශ්‍ය කරන වාතාවරනෙත් නියමෙටම තිබුනා. " ඔයාට බොන්න හිතුනොත් බොන්න, හැබැයි ඔයාට විශ්වාසවන්තම කෙනෙක් ළඟ තියාගෙන" අපේ තාත්තගෙ ගෝල්ඩන් වදන් මං කවදාවත් අමතක කරන්නෑ, අති දයාබරයා හිටියා වම් පැත්තෙන්, ඉතින් තව මොනවද,  මට වදින්නෙම තැපෑලෙන්, පැය භාගයක් ගියේ නෑ මං තමා වෙඩිමෙ සතුටින්ම හිටපු එකී. ඒ වගේ හිනාවක්, ඒ වගේ සැහැල්ලුවක්....ඒ වගේ නිමේශයක් ඉදලා හිටලා හරි හැම කෙනෙක්ගෙම ජීවිතේ තියෙන්න ඕනි. මොකද ඇයි බොන්නෙ ඇහුවොත් දෙන්න තියෙන උත්තරේ බීලා බලන්න කියන එක නිසා.  ඉස්සොරෝම මං පුංචි කාලේ තාත්තා බොනකොට යාළුවොත් එක්ක මං අහනවා ඇයි ඔයා බොන්නෙ කියලා, එයැයි තමා මට හිනාවෙලා කිව්වෙ දවසක බීලා බලලා ආයි ඕක අහන්න කියලා. එයැයි හරියටම හරි. 

ඉතින්, ඒ මත් වීමේ ආනන්දය ගෑණුන්ට අහිමි කරවලාතියෙන මේ දූපතේ ඊනියා සංස්කෘතියයි,  ඒ  පුහු ආටෝපෙට වහල් වෙලා තමන්ගෙම නිදහසයි අනුන්ගෙම නිදහසයි දෙකම නැති කරලා දාන ගෑනු ජීවිත ගැනයි මහා මේරු පර්වතේ වාගේ අනුකම්පාවක් ඇස් දෙකේ අලෝගෙන මං ඇන්ටිගෙ මූණ දිහා බලන් හිටියා. මොන අනුකම්පාවක්ද මැජික් යෂ්ටියක් වගේ අතේ තියාන හිටපු කොහු මිටත් හරහට වනාගෙන භූමිකම්පාවක් වගේ එයැයි දඩ බඩ ගාලා අන්තිම  අනතුරු ඇඟවිම් ටිකත් කොරලා අතුරු දහන් වුනා. මැදැයි.! ඒ අස්සෙ මට මතක් වුනේ වෙන දෙයක්, එක්කෙනෙක් මට මචං එකේ බියර් පාටියක් දෙනවා කිව්වනේ.....එයැයිගෙ ආර්ථිකේ යහපත් වුනු ගමන්...ෂා ජීවිතේ සුන්දරද මෙතරම්...!!

-------සඳුනිකා නුවන්දි රත්නායක---------

නිය ආලේප

අර කියුටෙක්ස් කතාව අද වත් ලියා දැමිය යුතුය. ගාන්නට හෝ නොගාන්නට අඩුමතරමේ ළඟ තබාගෙන බල බලා ඉන්නටවත් සෑම කාන්තා පාර්ශවයක් සතුවම එකදු කියුටෙක්ස් බෝතලයක්වක් ඇතැයි මා සිතමි. එසේ නොවන අවස්ථාද ඇති බව මම දනිමි. කියුටෙක්ස් යනු හරි අපූරු ජාතියකි. නේක වර්ණ වලින් නේක සුවඳ වලින් සුමටම සුමුදුව නියපොතු හැඩ කරන්නට ඒවා සැදී පැහැදී සිටියි. නමුදු මා කියුටෙක්ස්වලට ලොල් වන්නේ පැහැදිලිවම එහි සුවඳ නිසාය. මා ඉන්නා වටපිටාවක කවුරුන්හෝ කියුටෙක්ස් බෝතලයක් හැරියෙහොත් මාගේ සිරුර ඒ සුගන්ධය ඉල්ලා දැඩි ලෙස අකීකරු වන්නට පටන්ගනී. එයට මා ලොල් කර ක්ෂණිකව ඒ සමීපයට ගොස්  නහය අල්ලගෙන සිටින්නට මා පොළඹවයි. කොටින්ම කිවහෙතේ මා සුවඳ කන්නෙකි. තරමක් අමුතු හරුපයක් ලෙස පෙනුනද මා කුඩා කල සිටම එය අර්ථ දක්වන්නේ එලෙසිනි. මක් නිසාද යත් මට කියුටෙක්ස් පමණක් නොව, තිනර්, ලැකර්, පොලිෂ් , පේන්ට්, ඩීසල් ,ප්‍රෙට්‍රල් ආදී දේවල සුගන්ධයද ඇති තරමට කෑ හැක. දැනුදු  ෂෙඩ් එකක් අසලින් යන්නේ සුපුරුදු වේගයට වඩා අඩු වේගයකිනි. ඇති තරම් සුවඳ විඳගන්නටය. අනෙක ඒ විදගන්නා සුවඳින් ඇති තරම් මත් වන්නටය.

සෑමවිටම පිලී පනිනා මේ කතා කෝච්චියෙන් යලි නිවැරදි පීල්ලට ආ කල කියන්නට ඇත්තේ බොහෝ පිරිමින් කාන්තා නිය ආලේපන දකින්නේ ආටෝපෙට ඇගලි තුඩු අග ගාගෙන යන්නට නිපදවා අැති සරුව පිත්තල තොරොම්බලයක් ලෙස බවයි. පිරිමින් පමණක් නොව රෑපලාවණ්‍යයට අකුල් හෙලනා ඇතැම් කාන්තාවන්ද එලෙසය. මටද මේකප් අඩුවැඩිය පෙනෙන්නට බැරිය, නමුදු නිය ආලෙපනත් තොල් ආලේපනත් මට අනුව හරි අපූරු කලාවකි. අංග ජේදනය කලාවකි, නමුදු මේ වෙනමම වූ ආලයකි. ටක ටක බසුවලත් , ගොඩ ගොඩ හෝගානා මැදිරි තුලත් උරහිස් ගලවාගෙන ගෝල රකින්නට මෙන් දුවමින් ඇවිදින වීදි තුලදිත් මුණගැහෙන, නෙත රැදෙන දහසක් ආලේපිත නිය දෙසත් තොල් දෙසත් බලමින් ඒ කලාව මා රස විදින්නේ ඒ නිසාය. ( එසේම ඒ සමහරුන්ට සාමාන්‍ය දිනයන් හා හැලෝවීන් රාත්‍රීන් පැටලී ආලේපනලේවාගෙන ඇති බවද සැලකය යුතුය)

දකුණු ආසියාතිකරයේ, වෙසෙසින් මේකොදෙව්වේ මත් බව පිරිමින්ට පමණක් ලියා දී ඇති බව සංස්කෘතියෙන් නිතර මතක් කරනා නිමේශයක, කියුටෙක්ස් බෝතලයකින් මත් වන මා වැන්නියන්ද සිටී. එසේම ගී පොතත්, මී විතත් ප්‍රිය සාජ්ජත් අහිමි බොහෝ ගැහැනු ආත්මයන් , පෑ ගනන් එකම ඇදුමක් තෝරනා මොහොතක මෙන්ම හුදෙකලාව අර සීතලම සීතල කියුටෙක්ස් බිදක් නිය අග තවරා ලබන නන්දනීය ආශ්වාදයේ නිමේශයේද ඒ අහිමි වීම් හිමි කරගන්නවා ඇතැයි මා සිතමි. ඒ ගී පොතත් මී විතත් මාගේ ලෝකයෙන් බොහෝ දුර වූ අතීතතයක එවන් සුවදැති සීතලස සීතල කියුටෙක්ස් බෝතලයකින් පවා ඒ නිමේශයන් සොයා යාමට මා පෙළඹී සිටි බැවිනි. වැඩිමනක් ඕනෑ නැත කියුටෙක්ස් බෝතලයක් උඩු යටිකුරු කර නැවතත් කෙලින් කර ඒ තුනී වීදුරු බිත්ති දිගේ හෙමි හෙමින් ගලා යන පාටැති ද්‍රවණය දෙස බලා සිටීමෙන් ඔබට භාවනා කරන්නට වුවද හැකියාව ඇත . එසේම නිය ආලේපන යැයි කියූ පමනින් ඒවා නිය සදහා පමණකැයි ඔබ නොසිතන්න, මා මෙන් චිත්‍ර සදහා, අත්කම් සදහා මෙන්ම සිහිනෙදු සිතිය නොහැකි තවත් බොහෝ දෑ සදහාද ඔබට මේ අගනා ද්‍රාවණය භාවිතා  කල හැකිය . එසේම නිය ආලේපන කිරීමයනු අපූරු කලාවකි.

එය සෑම අයෙකුටම කල හැක්කක් නොවේ. නැතිනම් ගොම ගාන්නා සේ කියුටෙක්ස් ගාගෙන දඟලන ගැහැණු ලමුන් ඉදින්නට බැරිය. ඔබේ සියුම් බව ප්‍රගුණ කිරීමටටත් සංවේදීබව දියුණු කර ගැනීමටත් මේ කුඩා පින්සල ඔබට කියා දෙනු ඇත. ඉදින් අල්ලකට මිට මොලවා ගත හැකි තරමේ පුංචි බෝතලයක් ගෑණු හිතකට ලෝකයක් වන්නට බැරි කමක් නැත.!

------සඳුනිකා නුවන්දි රත්නායක----------

Monday, April 3, 2017

රත්තරං ඔටුවා

රෝස පාට බිත්තිය ළඟ තියෙන මගෙ අපූරු යහන්තලා විජිතයෙන් නැගිටලා අඩි දෙකක් තිබ්බම ලා දම් පාට බිත්තිය අයිනෙම තියෙන ලොකු බිත්ති කබඩ් එකේ දොර මං අරිනවා. ඒහැමදාම වගේ මමම අමාරුවෙන් ගෙනැල්ලා හයකෙරගත්තු කොන්ඩි පට්ටම් කෑල්ල  අයිනෙන් ඉබ්බත් එක්කම යතුරෙ එල්ලෙන රත්තරං ඔටුවට පුංචි තට්ටුවක් දාගෙන, රත්තරං වලින් පාට ගාලා වැඩ දාලා හදලා තියෙන ඌ පුංචි තෑග්ගක්.එහා පැත්තෙ ඇඳේ නගාගෙන්. බණ්ඩාරවෙල දුර ඈත එයා ගෙදර ගිහින් එනකොට ගෙනාපු එකක්. "ඒ තරම් දුර ගිහින් උඹ මට ඔටුවෙක්ද ගෙනාවේ?" දුන්නු දවසෙම කියපු ඒ නොක්කාඩු වචන වලට ඈ කලේ හිනාවීපු එක විතරයි.

" ඕක මං ඉල්ලලත් දුන්නෑ, ඔයා එනකම්ම හිටියෙ ඔයාටමලු ඕක ගෙනාවේ...අපිට ඉතින් හුලං.." ඒපාර ඒ නෝක්කාඩුව මගෙ යහනෙන් දකුණු පැත්තෙ ඇදේ අක්කගෙ. එයැයි කට ඇද කරගෙන මූණක් හදන් හිටියෙ ඊට මාසෙකට පස්සෙ එයා රට යන්න හිටපු නිසා. දැන් එයා ගිහින් මාසයක් වෙනවා. ඒ අඩුව පුරවපු කෙනා මේ වෙනකොට මගෙ දකුණු පැත්තෙ එයැයිගෙ යහන් තලාවේ වාඩි ගෙන ලැප් එකකට ඇස් අලෝගෙන ඉන්නවා. ඒ කොයික වෙතත් රත්තරං ඔටුවා අර තනි යතුරෙ එල්ලිලා පැද්දි පැද්දි ඉන්නවා. කතාව කබඩ් එකේ දොර අරින තැනින් නතර වුනේ ඒ මැද්දට ඔටුවෙක් පැනපු නිසානේ.දැන් ඔටුවගෙ කතන්දරේ හරි. ආයිත් දොර අරිමු, 

ඒ බිත්ති කබඩ් එකත් විෂ්මලන්තයක් තමයි. කොටින්ම මගෙ සියලු සේසතම ඒකේ. දොර පලුව අරිනකොටම අතට සමපාත වෙන හරියෙ තියෙන තුන්වෙනි තට්ටුව තමයි මගේ ප්‍රියතම එක. මගෙ ප්‍රියතම ,පූජනීයම හැම තොරොම්බලයක්ම තියෙන්නෙ ඒකෙ. කොටින්ම අර ඔටුවා දුන්නු නගාගෙ ආබරණ පෙට්ටියත් ඒකෙ. එයැයි දන්නවා ඒ තට්ටුව ලස්සනට පරෙස්සමට ඕන එකක් තියාගන්නවා කියලා. ආයිත් පීලි පනිනවා.. දොර පලුව ඇරිය ගමන් ඒකෙ අයිනෙම පොදි ගහලා තියෙන්නෙ පාට පාට කියුටෙක්ස් බෝතල් තොගයක්. එයින් එකයි මං ඇත්තටම ගාන්නෙ. අනික් වෛවර්ණ පාට එහෙකටවත් මං කැමතිත් නෑ. ඒ වා සේරම අර රට ගියපු අක්කගෙ. යනකොට මට දීලා ගියපුවා. මාත් හරි ආසාවෙන් ඒ සේරම ගත්තා.ගාන්න නෙවේ. වෙන වෙන වැඩ වලට. හරියට මීට ටික වෙලාවකට කලින් , ඔටුවා දීපු නගා එයැයිගෙ ඇදේ හාන්සි වෙලා ජංගමයට යුනිකෝඩ් කොට කොට ඉන්නකොට මං හෙමින් සීරුවේ ගිහින් එයැයිගෙ පාගිලි තුඩු වල මට හිතෙන හිතෙන පාට ගාලා අත්හදා බලපු එක වගේ. ඊයේ මගේ් සටහන් පොතේ ඉන්ඩිගෝ පාට කියුටෙක්ස් එකෙන් පා සලකුණක් ඇන්දා වගේ..ඒ ව‍ගේ.........හීන් සිරුවට ඒ පාට පාට, අදාලම නැති තැන්වල ගෑවෙනකොට  ගෑනු කිය‍ෙුටක්ස් ගාන එකත් එක්ක බැදිලා තියෙන හරි අපූරු දේවල් ගැන හිතුවිලි කන්දරාවක් මගේ හිත උඩ ගෑවෙන්න පටන් ගත්තා.....පටන් ගත්තෙ ඒ ගැන ලියන්න, ඒත් ඔටුවා නිසා වෙන පාරක ගියපු ඒ කතාව ඊලගට ලියන්නම්, එතකම් තව ටිකක් අර පාට පාට බෝතල් ඇතුලෙ හිත ඔබාගෙන හිතුවිලි දියකරගෙන ඉන්නම්.....!

Sunday, April 2, 2017

තනුවකට......

පාසුලැගිල්ලෙ අග්ගිස්සෙන්ම පටන් අරගෙන හෙමි හෙමිහිට එති එතී ඉහලට නගින, ඉස් මුදුන හීතලම වීගෙන හරි ලතාවකට වැනි වැනී පහලට බහින, හැම රෝප කූපයක්ම එක පාර කිති කවෝන, හැම දාදිය බිදක්ම එක පාර තිගස්සන , මේ තරම් ඉසියුම් සංවේදනයක මුහුවීමක් දරාගෙනම ඉන්න බැරි තැන ගිහින් මේ පුපුරන්න තරම් ගල්ගැහුනු හදවත මැදම නතරවෙන එක නාදයක්, එකම එක නාදයක් මට ඇහෙන මානෙකට ගලාගෙන එනවා.

සත්තකින්ම ඒ සංගීත ස්වර ඒතරම් භාවමය ආනන්දයක්, තිගැස්මක් ඒ ස්වර මගේ සවන් හොයන් එන හැම වෙලේම අරන් එනවා. වචන හිතට කඩා වදින්න කලින් හිත අගිස්සම පහුරුගාන ඒ තනුවලට හදවතම විවර කරලා මං ඇස් මොහොතකට පියා ගන්නවා.

"ඔබ ඇපල් මලක් වාගේ....... .....

ඇසිල්ලයි,  ඒ වචන  හිත වටේ එතෙන්න එති එති දග දාන්න පටන් අරගෙන.

"ඉටි රූපේ අපූරුව විදින්න මං හරි ආසයි
පිංතූරේ වගේ ඔබ හිනැහෙනකොට මට ලෝභයි"

ඉතින් කෝමද එක භාවනාවක ඇස් පියන් ඉන්නෙ.ඒ වචන ඒ තරම් කෝලයි. සිය දහස් වතාවක් අහපු දැකපු වචන ටිකක් නෑඹුල් වෙන්නෙ කෝමද, හරි අපූරුවට මේ වචන මට ඒ බව පෙන්නවා.

මේ තරම් ලලාසාවකින් ලිව්වට මේ මගේ ප්‍රියතම ගීය නෙවේ. ඒත් මගේ අනිත් ප්‍රියතම ගීත ගැන මෙහෙම ලියන්න මට හිතිලත් නෑ. ඒ වගේම ප්‍රියතම ගීත ගොඩේ බුබුළු දදා නටන මේ ගීතෙට මේ තරම් ප්‍රේම කරන්නත් මං ඇත්තටම හේතුවක් දන්නෙ නෑ. හුදෙකලාව අවනඩුවක් වෙලා තිබ්බ පිරිමි ලමයෙක් මේ ගෑනු ලමයට  ඒ ආදරේ මේ අපූරු පදවැල දිගේ එව්වා කියලත් මතකයි. ඒත් මං මේ ගීයට පෙම් බැදගෙන තිබුනෙ ඒ පිරිමි ලමයා හම්බෙන්නත් බෝම කාලෙකට ඉස්සර.බලන්ගියාම මං ඒ ආදරේට මේ ගීතයත් ලොකු පංගුකාරයෙක්. අන්තිමට හැසදේම අවනඩුවක් වෙන්න කලින් අර විජ්ජාකාර නාද රටා ආයිත් හිත වටේට වටේට එතීගෙන එතීගෙන යනවා. හිතිවිල්ල අහවර කරලා ඒ නිද්‍රාවට සමවැදිලා මොහොතකට ස්වර්ගයට ගිහින් එන්න වෙලාව හරි.ඒ ඇසිල්ල වෙනුවෙන් මගේ ඇස් ආයිත් පියවෙනවා.

බියර් බෝතලේ

කළු කොළඹ දිය වෙන්න කොලම කොල පාට මුරුගන් වරුසාවක් වහින වෙලාවක අකුරුත් ඉඩ කඩ කඩාගෙන උඩපනින්නෙ තිත්ත පැටවු ගානට. ඇදේ ඉහත්තාවට පිටදීගෙන වාඩිලාගෙ...