අටුව

Sunday, April 2, 2017

තනුවකට......

පාසුලැගිල්ලෙ අග්ගිස්සෙන්ම පටන් අරගෙන හෙමි හෙමිහිට එති එතී ඉහලට නගින, ඉස් මුදුන හීතලම වීගෙන හරි ලතාවකට වැනි වැනී පහලට බහින, හැම රෝප කූපයක්ම එක පාර කිති කවෝන, හැම දාදිය බිදක්ම එක පාර තිගස්සන , මේ තරම් ඉසියුම් සංවේදනයක මුහුවීමක් දරාගෙනම ඉන්න බැරි තැන ගිහින් මේ පුපුරන්න තරම් ගල්ගැහුනු හදවත මැදම නතරවෙන එක නාදයක්, එකම එක නාදයක් මට ඇහෙන මානෙකට ගලාගෙන එනවා.

සත්තකින්ම ඒ සංගීත ස්වර ඒතරම් භාවමය ආනන්දයක්, තිගැස්මක් ඒ ස්වර මගේ සවන් හොයන් එන හැම වෙලේම අරන් එනවා. වචන හිතට කඩා වදින්න කලින් හිත අගිස්සම පහුරුගාන ඒ තනුවලට හදවතම විවර කරලා මං ඇස් මොහොතකට පියා ගන්නවා.

"ඔබ ඇපල් මලක් වාගේ....... .....

ඇසිල්ලයි,  ඒ වචන  හිත වටේ එතෙන්න එති එති දග දාන්න පටන් අරගෙන.

"ඉටි රූපේ අපූරුව විදින්න මං හරි ආසයි
පිංතූරේ වගේ ඔබ හිනැහෙනකොට මට ලෝභයි"

ඉතින් කෝමද එක භාවනාවක ඇස් පියන් ඉන්නෙ.ඒ වචන ඒ තරම් කෝලයි. සිය දහස් වතාවක් අහපු දැකපු වචන ටිකක් නෑඹුල් වෙන්නෙ කෝමද, හරි අපූරුවට මේ වචන මට ඒ බව පෙන්නවා.

මේ තරම් ලලාසාවකින් ලිව්වට මේ මගේ ප්‍රියතම ගීය නෙවේ. ඒත් මගේ අනිත් ප්‍රියතම ගීත ගැන මෙහෙම ලියන්න මට හිතිලත් නෑ. ඒ වගේම ප්‍රියතම ගීත ගොඩේ බුබුළු දදා නටන මේ ගීතෙට මේ තරම් ප්‍රේම කරන්නත් මං ඇත්තටම හේතුවක් දන්නෙ නෑ. හුදෙකලාව අවනඩුවක් වෙලා තිබ්බ පිරිමි ලමයෙක් මේ ගෑනු ලමයට  ඒ ආදරේ මේ අපූරු පදවැල දිගේ එව්වා කියලත් මතකයි. ඒත් මං මේ ගීයට පෙම් බැදගෙන තිබුනෙ ඒ පිරිමි ලමයා හම්බෙන්නත් බෝම කාලෙකට ඉස්සර.බලන්ගියාම මං ඒ ආදරේට මේ ගීතයත් ලොකු පංගුකාරයෙක්. අන්තිමට හැසදේම අවනඩුවක් වෙන්න කලින් අර විජ්ජාකාර නාද රටා ආයිත් හිත වටේට වටේට එතීගෙන එතීගෙන යනවා. හිතිවිල්ල අහවර කරලා ඒ නිද්‍රාවට සමවැදිලා මොහොතකට ස්වර්ගයට ගිහින් එන්න වෙලාව හරි.ඒ ඇසිල්ල වෙනුවෙන් මගේ ඇස් ආයිත් පියවෙනවා.

No comments:

Post a Comment

බියර් බෝතලේ

කළු කොළඹ දිය වෙන්න කොලම කොල පාට මුරුගන් වරුසාවක් වහින වෙලාවක අකුරුත් ඉඩ කඩ කඩාගෙන උඩපනින්නෙ තිත්ත පැටවු ගානට. ඇදේ ඉහත්තාවට පිටදීගෙන වාඩිලාගෙ...