අටුව

Thursday, May 25, 2017

බියර් බෝතලේ

කළු කොළඹ දිය වෙන්න කොලම කොල පාට මුරුගන් වරුසාවක් වහින වෙලාවක අකුරුත් ඉඩ කඩ කඩාගෙන උඩපනින්නෙ තිත්ත පැටවු ගානට. ඇදේ ඉහත්තාවට පිටදීගෙන වාඩිලාගෙන ඉන්න මට මතක් වෙන්නෙම අද උදැහැනකේ මං මේමම හිටපු වෙලාවක අපේ බෝඩිමේ ඇන්ටි කාමරේට කඩා බිඳගෙන ඇවිත්  කියෝපු පතරංග හෑලි ගැන. අකුණක් වගේ සිං ගාලා කඩා පාත් වෙලා ෆ්ලෑෂ් වගේ හොරු ටික අල්ලන්න නම් නෙමෙයි එයා ආවේ හෙණයක් වගේ පාත් වෙලා පීකරයක් වගේ කියෝගෙන කියෝගෙන යන්න.  ඒ කෝම වුනත් එයැයිගෙ හදිසි ආගමනයට හා  ආවේගයට හේතු භූත වෙලා තියෙන්නෙ මහා ලොකූ බියර් බෝතලයක් හා සූටිම සූටි බියර් ටින් දෙකක්. ආපු ගමන් මගෙන් ඇහුවේ, " කවුද මේකේ බියර් බොන්නේ"?? කියලා. දෙනවනම් දැන් වුනත් බොන්නම්කො කියන හරි සුන්දර හිතුවිල්ලත් එක්ක ආපු අහිංසකම හිනාවෙන් මං හරි විනීත විදියට උත්තර දුන්නා. " බියර්???  කවුද ඇන්ටි බියර් බොන්නෙ, අපේ කාමරේ කවුරුවත් බොන්නෙ නෑ " එහෙම ඇහැව්වට ඇන්ටිත් ඇවිල්ලා තියෙන්නෙ හෝම්ස් වගේ සියල්ල හොයාගෙන  " ඒක තමයි මං දන්නවා ඔයාලා එහෙම නෑ කියලා, ඒත් මං දන්නවා කවුද කියලා , ලබන සතියෙ මං අරිනවා උන්දැව ගෙදර " 

ආ ඔය තියෙන්නෙ, මේ කියන්නෙ එහා කාමරේ ඉන්න ගෑනු ලමයි දෙන්නා ගැන.  මේ බියර් බෝතලේ මතුවෙන්න කලියෙන් අපේ ඇන්ටිට ඒ දෙන්නව පෙන්නන්න බැරුව හිටියෙ ,එකම හේතුව කොටට ඇඳීම. දැන් ඉතින් එයාලට අබ සරණයි. කොට ඇදුමක් අස්සෙ බියර් ටින් එහෙකුත් පටලවගෙනනනෙ. ඇන්ටිට අනුව නැහැදිච්ච, උද්දච්ච, නොසන්ඩාල ඒ දැරිවියන් දෙන්නා ගැන මට නම් හරිම අනුකම්පාවක් දැනුනත් ඉතින් උපාසක බැලලියෙක් වාගේ මාත් ඉතින් අහං හිටියා. ඒ වෙලාවෙ මං හිත හිත හිටපු ඒවා බැරිවෙලාවත් එයාගේ හෝම්ස් ඥානයට පෙනුනනම් එහෙම හෙටඉදන් මටත් ඉන්න වෙන්නෙ විජේරාමේ බෝ ගහ යට තමා.

මං හිත හිත හිටියෙ අන්තිමට බියර් වීදුරුවක් තොල ගාලා පිස්සු නටපු ඒ මනරම් දවස ගැන , එදා ඔමාලියාගෙ වෙඩිම.  පෙණ දදා තිබුනු තඩි බියර් වීදුරුව දැක්කම මට බොන්නම හිතුනා. අනික මට බොන්න අවශ්‍ය කරන වාතාවරනෙත් නියමෙටම තිබුනා. " ඔයාට බොන්න හිතුනොත් බොන්න, හැබැයි ඔයාට විශ්වාසවන්තම කෙනෙක් ළඟ තියාගෙන" අපේ තාත්තගෙ ගෝල්ඩන් වදන් මං කවදාවත් අමතක කරන්නෑ, අති දයාබරයා හිටියා වම් පැත්තෙන්, ඉතින් තව මොනවද,  මට වදින්නෙම තැපෑලෙන්, පැය භාගයක් ගියේ නෑ මං තමා වෙඩිමෙ සතුටින්ම හිටපු එකී. ඒ වගේ හිනාවක්, ඒ වගේ සැහැල්ලුවක්....ඒ වගේ නිමේශයක් ඉදලා හිටලා හරි හැම කෙනෙක්ගෙම ජීවිතේ තියෙන්න ඕනි. මොකද ඇයි බොන්නෙ ඇහුවොත් දෙන්න තියෙන උත්තරේ බීලා බලන්න කියන එක නිසා.  ඉස්සොරෝම මං පුංචි කාලේ තාත්තා බොනකොට යාළුවොත් එක්ක මං අහනවා ඇයි ඔයා බොන්නෙ කියලා, එයැයි තමා මට හිනාවෙලා කිව්වෙ දවසක බීලා බලලා ආයි ඕක අහන්න කියලා. එයැයි හරියටම හරි. 

ඉතින්, ඒ මත් වීමේ ආනන්දය ගෑණුන්ට අහිමි කරවලාතියෙන මේ දූපතේ ඊනියා සංස්කෘතියයි,  ඒ  පුහු ආටෝපෙට වහල් වෙලා තමන්ගෙම නිදහසයි අනුන්ගෙම නිදහසයි දෙකම නැති කරලා දාන ගෑනු ජීවිත ගැනයි මහා මේරු පර්වතේ වාගේ අනුකම්පාවක් ඇස් දෙකේ අලෝගෙන මං ඇන්ටිගෙ මූණ දිහා බලන් හිටියා. මොන අනුකම්පාවක්ද මැජික් යෂ්ටියක් වගේ අතේ තියාන හිටපු කොහු මිටත් හරහට වනාගෙන භූමිකම්පාවක් වගේ එයැයි දඩ බඩ ගාලා අන්තිම  අනතුරු ඇඟවිම් ටිකත් කොරලා අතුරු දහන් වුනා. මැදැයි.! ඒ අස්සෙ මට මතක් වුනේ වෙන දෙයක්, එක්කෙනෙක් මට මචං එකේ බියර් පාටියක් දෙනවා කිව්වනේ.....එයැයිගෙ ආර්ථිකේ යහපත් වුනු ගමන්...ෂා ජීවිතේ සුන්දරද මෙතරම්...!!

-------සඳුනිකා නුවන්දි රත්නායක---------

නිය ආලේප

අර කියුටෙක්ස් කතාව අද වත් ලියා දැමිය යුතුය. ගාන්නට හෝ නොගාන්නට අඩුමතරමේ ළඟ තබාගෙන බල බලා ඉන්නටවත් සෑම කාන්තා පාර්ශවයක් සතුවම එකදු කියුටෙක්ස් බෝතලයක්වක් ඇතැයි මා සිතමි. එසේ නොවන අවස්ථාද ඇති බව මම දනිමි. කියුටෙක්ස් යනු හරි අපූරු ජාතියකි. නේක වර්ණ වලින් නේක සුවඳ වලින් සුමටම සුමුදුව නියපොතු හැඩ කරන්නට ඒවා සැදී පැහැදී සිටියි. නමුදු මා කියුටෙක්ස්වලට ලොල් වන්නේ පැහැදිලිවම එහි සුවඳ නිසාය. මා ඉන්නා වටපිටාවක කවුරුන්හෝ කියුටෙක්ස් බෝතලයක් හැරියෙහොත් මාගේ සිරුර ඒ සුගන්ධය ඉල්ලා දැඩි ලෙස අකීකරු වන්නට පටන්ගනී. එයට මා ලොල් කර ක්ෂණිකව ඒ සමීපයට ගොස්  නහය අල්ලගෙන සිටින්නට මා පොළඹවයි. කොටින්ම කිවහෙතේ මා සුවඳ කන්නෙකි. තරමක් අමුතු හරුපයක් ලෙස පෙනුනද මා කුඩා කල සිටම එය අර්ථ දක්වන්නේ එලෙසිනි. මක් නිසාද යත් මට කියුටෙක්ස් පමණක් නොව, තිනර්, ලැකර්, පොලිෂ් , පේන්ට්, ඩීසල් ,ප්‍රෙට්‍රල් ආදී දේවල සුගන්ධයද ඇති තරමට කෑ හැක. දැනුදු  ෂෙඩ් එකක් අසලින් යන්නේ සුපුරුදු වේගයට වඩා අඩු වේගයකිනි. ඇති තරම් සුවඳ විඳගන්නටය. අනෙක ඒ විදගන්නා සුවඳින් ඇති තරම් මත් වන්නටය.

සෑමවිටම පිලී පනිනා මේ කතා කෝච්චියෙන් යලි නිවැරදි පීල්ලට ආ කල කියන්නට ඇත්තේ බොහෝ පිරිමින් කාන්තා නිය ආලේපන දකින්නේ ආටෝපෙට ඇගලි තුඩු අග ගාගෙන යන්නට නිපදවා අැති සරුව පිත්තල තොරොම්බලයක් ලෙස බවයි. පිරිමින් පමණක් නොව රෑපලාවණ්‍යයට අකුල් හෙලනා ඇතැම් කාන්තාවන්ද එලෙසය. මටද මේකප් අඩුවැඩිය පෙනෙන්නට බැරිය, නමුදු නිය ආලෙපනත් තොල් ආලේපනත් මට අනුව හරි අපූරු කලාවකි. අංග ජේදනය කලාවකි, නමුදු මේ වෙනමම වූ ආලයකි. ටක ටක බසුවලත් , ගොඩ ගොඩ හෝගානා මැදිරි තුලත් උරහිස් ගලවාගෙන ගෝල රකින්නට මෙන් දුවමින් ඇවිදින වීදි තුලදිත් මුණගැහෙන, නෙත රැදෙන දහසක් ආලේපිත නිය දෙසත් තොල් දෙසත් බලමින් ඒ කලාව මා රස විදින්නේ ඒ නිසාය. ( එසේම ඒ සමහරුන්ට සාමාන්‍ය දිනයන් හා හැලෝවීන් රාත්‍රීන් පැටලී ආලේපනලේවාගෙන ඇති බවද සැලකය යුතුය)

දකුණු ආසියාතිකරයේ, වෙසෙසින් මේකොදෙව්වේ මත් බව පිරිමින්ට පමණක් ලියා දී ඇති බව සංස්කෘතියෙන් නිතර මතක් කරනා නිමේශයක, කියුටෙක්ස් බෝතලයකින් මත් වන මා වැන්නියන්ද සිටී. එසේම ගී පොතත්, මී විතත් ප්‍රිය සාජ්ජත් අහිමි බොහෝ ගැහැනු ආත්මයන් , පෑ ගනන් එකම ඇදුමක් තෝරනා මොහොතක මෙන්ම හුදෙකලාව අර සීතලම සීතල කියුටෙක්ස් බිදක් නිය අග තවරා ලබන නන්දනීය ආශ්වාදයේ නිමේශයේද ඒ අහිමි වීම් හිමි කරගන්නවා ඇතැයි මා සිතමි. ඒ ගී පොතත් මී විතත් මාගේ ලෝකයෙන් බොහෝ දුර වූ අතීතතයක එවන් සුවදැති සීතලස සීතල කියුටෙක්ස් බෝතලයකින් පවා ඒ නිමේශයන් සොයා යාමට මා පෙළඹී සිටි බැවිනි. වැඩිමනක් ඕනෑ නැත කියුටෙක්ස් බෝතලයක් උඩු යටිකුරු කර නැවතත් කෙලින් කර ඒ තුනී වීදුරු බිත්ති දිගේ හෙමි හෙමින් ගලා යන පාටැති ද්‍රවණය දෙස බලා සිටීමෙන් ඔබට භාවනා කරන්නට වුවද හැකියාව ඇත . එසේම නිය ආලේපන යැයි කියූ පමනින් ඒවා නිය සදහා පමණකැයි ඔබ නොසිතන්න, මා මෙන් චිත්‍ර සදහා, අත්කම් සදහා මෙන්ම සිහිනෙදු සිතිය නොහැකි තවත් බොහෝ දෑ සදහාද ඔබට මේ අගනා ද්‍රාවණය භාවිතා  කල හැකිය . එසේම නිය ආලේපන කිරීමයනු අපූරු කලාවකි.

එය සෑම අයෙකුටම කල හැක්කක් නොවේ. නැතිනම් ගොම ගාන්නා සේ කියුටෙක්ස් ගාගෙන දඟලන ගැහැණු ලමුන් ඉදින්නට බැරිය. ඔබේ සියුම් බව ප්‍රගුණ කිරීමටටත් සංවේදීබව දියුණු කර ගැනීමටත් මේ කුඩා පින්සල ඔබට කියා දෙනු ඇත. ඉදින් අල්ලකට මිට මොලවා ගත හැකි තරමේ පුංචි බෝතලයක් ගෑණු හිතකට ලෝකයක් වන්නට බැරි කමක් නැත.!

------සඳුනිකා නුවන්දි රත්නායක----------

Monday, April 3, 2017

රත්තරං ඔටුවා

රෝස පාට බිත්තිය ළඟ තියෙන මගෙ අපූරු යහන්තලා විජිතයෙන් නැගිටලා අඩි දෙකක් තිබ්බම ලා දම් පාට බිත්තිය අයිනෙම තියෙන ලොකු බිත්ති කබඩ් එකේ දොර මං අරිනවා. ඒහැමදාම වගේ මමම අමාරුවෙන් ගෙනැල්ලා හයකෙරගත්තු කොන්ඩි පට්ටම් කෑල්ල  අයිනෙන් ඉබ්බත් එක්කම යතුරෙ එල්ලෙන රත්තරං ඔටුවට පුංචි තට්ටුවක් දාගෙන, රත්තරං වලින් පාට ගාලා වැඩ දාලා හදලා තියෙන ඌ පුංචි තෑග්ගක්.එහා පැත්තෙ ඇඳේ නගාගෙන්. බණ්ඩාරවෙල දුර ඈත එයා ගෙදර ගිහින් එනකොට ගෙනාපු එකක්. "ඒ තරම් දුර ගිහින් උඹ මට ඔටුවෙක්ද ගෙනාවේ?" දුන්නු දවසෙම කියපු ඒ නොක්කාඩු වචන වලට ඈ කලේ හිනාවීපු එක විතරයි.

" ඕක මං ඉල්ලලත් දුන්නෑ, ඔයා එනකම්ම හිටියෙ ඔයාටමලු ඕක ගෙනාවේ...අපිට ඉතින් හුලං.." ඒපාර ඒ නෝක්කාඩුව මගෙ යහනෙන් දකුණු පැත්තෙ ඇදේ අක්කගෙ. එයැයි කට ඇද කරගෙන මූණක් හදන් හිටියෙ ඊට මාසෙකට පස්සෙ එයා රට යන්න හිටපු නිසා. දැන් එයා ගිහින් මාසයක් වෙනවා. ඒ අඩුව පුරවපු කෙනා මේ වෙනකොට මගෙ දකුණු පැත්තෙ එයැයිගෙ යහන් තලාවේ වාඩි ගෙන ලැප් එකකට ඇස් අලෝගෙන ඉන්නවා. ඒ කොයික වෙතත් රත්තරං ඔටුවා අර තනි යතුරෙ එල්ලිලා පැද්දි පැද්දි ඉන්නවා. කතාව කබඩ් එකේ දොර අරින තැනින් නතර වුනේ ඒ මැද්දට ඔටුවෙක් පැනපු නිසානේ.දැන් ඔටුවගෙ කතන්දරේ හරි. ආයිත් දොර අරිමු, 

ඒ බිත්ති කබඩ් එකත් විෂ්මලන්තයක් තමයි. කොටින්ම මගෙ සියලු සේසතම ඒකේ. දොර පලුව අරිනකොටම අතට සමපාත වෙන හරියෙ තියෙන තුන්වෙනි තට්ටුව තමයි මගේ ප්‍රියතම එක. මගෙ ප්‍රියතම ,පූජනීයම හැම තොරොම්බලයක්ම තියෙන්නෙ ඒකෙ. කොටින්ම අර ඔටුවා දුන්නු නගාගෙ ආබරණ පෙට්ටියත් ඒකෙ. එයැයි දන්නවා ඒ තට්ටුව ලස්සනට පරෙස්සමට ඕන එකක් තියාගන්නවා කියලා. ආයිත් පීලි පනිනවා.. දොර පලුව ඇරිය ගමන් ඒකෙ අයිනෙම පොදි ගහලා තියෙන්නෙ පාට පාට කියුටෙක්ස් බෝතල් තොගයක්. එයින් එකයි මං ඇත්තටම ගාන්නෙ. අනික් වෛවර්ණ පාට එහෙකටවත් මං කැමතිත් නෑ. ඒ වා සේරම අර රට ගියපු අක්කගෙ. යනකොට මට දීලා ගියපුවා. මාත් හරි ආසාවෙන් ඒ සේරම ගත්තා.ගාන්න නෙවේ. වෙන වෙන වැඩ වලට. හරියට මීට ටික වෙලාවකට කලින් , ඔටුවා දීපු නගා එයැයිගෙ ඇදේ හාන්සි වෙලා ජංගමයට යුනිකෝඩ් කොට කොට ඉන්නකොට මං හෙමින් සීරුවේ ගිහින් එයැයිගෙ පාගිලි තුඩු වල මට හිතෙන හිතෙන පාට ගාලා අත්හදා බලපු එක වගේ. ඊයේ මගේ් සටහන් පොතේ ඉන්ඩිගෝ පාට කියුටෙක්ස් එකෙන් පා සලකුණක් ඇන්දා වගේ..ඒ ව‍ගේ.........හීන් සිරුවට ඒ පාට පාට, අදාලම නැති තැන්වල ගෑවෙනකොට  ගෑනු කිය‍ෙුටක්ස් ගාන එකත් එක්ක බැදිලා තියෙන හරි අපූරු දේවල් ගැන හිතුවිලි කන්දරාවක් මගේ හිත උඩ ගෑවෙන්න පටන් ගත්තා.....පටන් ගත්තෙ ඒ ගැන ලියන්න, ඒත් ඔටුවා නිසා වෙන පාරක ගියපු ඒ කතාව ඊලගට ලියන්නම්, එතකම් තව ටිකක් අර පාට පාට බෝතල් ඇතුලෙ හිත ඔබාගෙන හිතුවිලි දියකරගෙන ඉන්නම්.....!

Sunday, April 2, 2017

තනුවකට......

පාසුලැගිල්ලෙ අග්ගිස්සෙන්ම පටන් අරගෙන හෙමි හෙමිහිට එති එතී ඉහලට නගින, ඉස් මුදුන හීතලම වීගෙන හරි ලතාවකට වැනි වැනී පහලට බහින, හැම රෝප කූපයක්ම එක පාර කිති කවෝන, හැම දාදිය බිදක්ම එක පාර තිගස්සන , මේ තරම් ඉසියුම් සංවේදනයක මුහුවීමක් දරාගෙනම ඉන්න බැරි තැන ගිහින් මේ පුපුරන්න තරම් ගල්ගැහුනු හදවත මැදම නතරවෙන එක නාදයක්, එකම එක නාදයක් මට ඇහෙන මානෙකට ගලාගෙන එනවා.

සත්තකින්ම ඒ සංගීත ස්වර ඒතරම් භාවමය ආනන්දයක්, තිගැස්මක් ඒ ස්වර මගේ සවන් හොයන් එන හැම වෙලේම අරන් එනවා. වචන හිතට කඩා වදින්න කලින් හිත අගිස්සම පහුරුගාන ඒ තනුවලට හදවතම විවර කරලා මං ඇස් මොහොතකට පියා ගන්නවා.

"ඔබ ඇපල් මලක් වාගේ....... .....

ඇසිල්ලයි,  ඒ වචන  හිත වටේ එතෙන්න එති එති දග දාන්න පටන් අරගෙන.

"ඉටි රූපේ අපූරුව විදින්න මං හරි ආසයි
පිංතූරේ වගේ ඔබ හිනැහෙනකොට මට ලෝභයි"

ඉතින් කෝමද එක භාවනාවක ඇස් පියන් ඉන්නෙ.ඒ වචන ඒ තරම් කෝලයි. සිය දහස් වතාවක් අහපු දැකපු වචන ටිකක් නෑඹුල් වෙන්නෙ කෝමද, හරි අපූරුවට මේ වචන මට ඒ බව පෙන්නවා.

මේ තරම් ලලාසාවකින් ලිව්වට මේ මගේ ප්‍රියතම ගීය නෙවේ. ඒත් මගේ අනිත් ප්‍රියතම ගීත ගැන මෙහෙම ලියන්න මට හිතිලත් නෑ. ඒ වගේම ප්‍රියතම ගීත ගොඩේ බුබුළු දදා නටන මේ ගීතෙට මේ තරම් ප්‍රේම කරන්නත් මං ඇත්තටම හේතුවක් දන්නෙ නෑ. හුදෙකලාව අවනඩුවක් වෙලා තිබ්බ පිරිමි ලමයෙක් මේ ගෑනු ලමයට  ඒ ආදරේ මේ අපූරු පදවැල දිගේ එව්වා කියලත් මතකයි. ඒත් මං මේ ගීයට පෙම් බැදගෙන තිබුනෙ ඒ පිරිමි ලමයා හම්බෙන්නත් බෝම කාලෙකට ඉස්සර.බලන්ගියාම මං ඒ ආදරේට මේ ගීතයත් ලොකු පංගුකාරයෙක්. අන්තිමට හැසදේම අවනඩුවක් වෙන්න කලින් අර විජ්ජාකාර නාද රටා ආයිත් හිත වටේට වටේට එතීගෙන එතීගෙන යනවා. හිතිවිල්ල අහවර කරලා ඒ නිද්‍රාවට සමවැදිලා මොහොතකට ස්වර්ගයට ගිහින් එන්න වෙලාව හරි.ඒ ඇසිල්ල වෙනුවෙන් මගේ ඇස් ආයිත් පියවෙනවා.

Sunday, May 1, 2016

රිම් මහත්තයා .... part 2

හාමතේ ඇවිලෙමින් සිටි රිම් මහත්තයා පෙරලෙමින් ගොස් යන්තම් රිම් එකෙන් බුරුල් වූ නට් දෙක තුනක් උකසට තබා මාරි පැකට්ටුවකුත් සෝස් පැකට්ටුවකුත් ළඟ පාත පෙට්ටි කඩයෙන් ගෙන දවසක ගින්නේ ඇරියස් නිවන්නට බඩගෙඩියට දමා ගනිමින් සිටින බව වාර්තා වූයේ මීට සුළු මොහොතකට පෙරය. එ් බඩගෙඩියට ඇස් ඇරුණත් මූලික ආර්ථික කලමණාකරණ නීති පිළිබඳව රිම් මහත්තයගේ ඔළුගෙඩියට නම් ඇස් ඇරෙන පාටක් මේ කපේකදි නම් පෙනෙන්නට නැත .

ඒ පිලිබඳ දේශනාම කර මාගේ දිවද ගෙවී යන්නට ආසන්නය. ඒ මදිවාට තව යුනිකෝඩ් කොටන්නටද දිවට අඟල් ගණනක් උඩින් ඇති මාගේ ඔළුගෙඩිය බල කරයි.  ඇත්තම කිවහොත් අර නාහෙට නාහන රිම් මහත්තයා වෙනුවෙන් මේ සියල්ල කරන්නට මා පොළඹවන්නේ ඇට නැති නිසාවෙන් හතර අතට වැනෙන දිවටවත් කොහේ ඇති දැයි සිතා ගත නොහැකි මේ කෙහෙල්මල් හිතය. ඉතින් අර බක පණ්ඩිතයා අද දවසටම කා ඇත්තේ අර මාරි පැකට්ටුවය. ඉතින් මට පාන්ද.. අවාසනාව මට එසේ සිතා පාඩුවේ ඉන්නට බැරි කමය. ඒ පඩත්තල පඟර නැට්ටා හරියකට කන තුරු මං නලියයි.  හොඳම කෑල්ල මේ කිසිවක් ඒ උගුඩුවා නොදැන සිටීමය. ඔහුගේ රිම් කොම්පැණියටම සරිලන අර අතට ගත් විට කෑලි ගැලවෙන අන්ජබජල් පෞරාණික  දුරකථනයෙන් ඇමතූ විට පවා....ආාා  දුරකථනයට මා ඇමතුමක් ගත් විට පවා ( මා මළාට ඒ බඩකඩිත්තුවෙන් ඔහු මා අමතන්නේ නැත) බඩගින්නේ සිටීමට ඉදිරිපත් කරන ඔලමොට්ටල හේතු සාධක මා අතිශශයින් කෝපයට පත් කරන බැවින් රිම් කොම්පැණියේ ජාතියම අමතා  මා දුරකථනය විසන්ධි කරන හෙයින් මගේ නලියෑම පිලිබඳව හාංකවිසියක දෙයක් ඔහු නොදනී.

දැන් ඉතින් තව හොරාවකින් පමණ මා ණය වී ලබාගෙන ඇති අවසන් සත ටිකෙන් ඒ ඔලමොට්ටලයාගේ සුව දුක් විමසා නිකා සිටිමි. ඊළගට මුණ ගැසෙන දවසකදි මේ දිනවල හොඳහැටියට පුසුඹ හමන අර බේරේ වැවටවත් තල්ලු කර දමා පාඩමක් ඉගැන්වීමේ සුවදායී සිහිනය පෙනේවායි ප්‍රාර්ථනා කරමින් නිදා ගමි. 

-------- සඳුනිකා රත්නායක----------

Wednesday, October 21, 2015

කුණු රස ආචාර ධර්ම

ළමා අපචාර මූලික කොටගෙන  බහුතරයක් ඊනියා සුචරිතවාදීන්ගේ අවමානයටත් සුළුතරයක් වූ කළු සුදු මිශ්‍ර පොලොවේ පය ගසා සිටින හෝමෝ සේපියන්ලාගේ අනුකම්පාවටත් බදුන්වූ " මාධ්‍ය භාවිතය " පිලිබඳ නැවතත් සමාජ කතිකාවතක් ඇතිවෙමින් පවතී. ලොව ස්මරණ ශක්තිය අතින් අග්‍ර ස්ථානයක පසුවන ශ්‍රී ලංකාවාසීන් මින් ඉක්බිතිවද මේ පිලිබඳ දැඩි අවධානයකින් පසුවනු ඇත.ඒ නිසාම ජනමාධ්‍ය තවදුරටත් ඒ ගැන බිය විය යුතු නැත.

තමාම සිය දිවි නසා ගන්නට උත්සාහ දරා හෝ නිව්ස් එක හිට් කරගන්නට දගලන නූතන මාධ්‍ය ආයතන දකිනවිට මාධ්‍යයේ සැබෑ වගකීම යනු කුමක් දැයි හෝඩියේ සිට උගන්නන්නට පටන්ගතහොත් යෙහෙකැයි සිතේ.තරඟකාරීත්වයද ,මිනිසුන්ගේ රුචිකත්වයද පෙරට ඇද දමමින් සුදනන් වීම කෙසේ වෙතත් එකම වරදකරුවන් තමා නොවන වග පෙන්වීමට ඔවුන් දරන උත්සාහය නම් අපූරුය.

සාමූහිකව වරදකරුවන් වීමට ඇති කොන්ද පණ නැති තත්වයත් , ඔවුන් කියනා පරිදි මිනිසුන්ගේ රුචිකත්වයට අනුව වැඩ කිරීමට ඇති රූකඩමය ආසාවත් ඇති වීමට තරම් මෙරටේ මාධ්‍ය ආයතනවල කශේරුකාව අංශභාග තත්වයේ ඇති බව නම් කිව හැකිය.

"මේ රටේ මිනිස්සු ඉල්ලන්නේ කුණු රස, තරඟකාරීත්වයයි ඉහලින් එන පීඩනයත් එක්ක අපට ඔවුන් ඉල්ලන දේ දෙන්න සිදු වෙනවා..."

ශ්‍රී ලංකාවේ ප්‍රධාන මාධ්‍ය ආයතන කිහිපයක වගකිවයුතු නිලධරයින් කිහිපදෙනෙකුම අද මාගේ දෑස් ඉදරිපිටදීම සිය මඩ ,මඩේ දමාම සෝදා ගත්තේ ඒ ආකාරයටය.

කුණු රස ඉල්ලද්දී එයම දෙන්නට තරම් මේ මාධ්‍ය ආයතන බාල්දු වනු දකින විට ඒවායේ සැබෑ පාලකයන්ට කියන්නට වෙන්නේ ඕක ළමයෙකුට දීපන් කියාය.මේ කියන කුණු රස ඉල්ලීම පිටුපස ඇත්තේ බුද්ධි සංවර්ධනයේ අඩුවකි. එකී අඩුව දෙගුණයකින් වැඩි වී ඉල්ලුමට සරිලන සැපයුම සපයන්නන් කෙරෙහි බලපැවැත්වෙන බව සිතා ගැනීම අසීරු නැත.

ඔවුන් කියනා ආකාරයට වර්තමානයේ ඇත්තේ පරිහානියට ලක්වූ විකෘති සමාජයකි.මෙවැනි අපචාරත් මේ කුණු රසට ඇති ඉල්ලුමත් ඒ නිසාවෙනි.එතකොට ඔවුන් මොක්කුදැයි අසන්නට සිතේ .සමාජය යනු ඔබත් මමත් යන මූලික සංකල්පයම කුණු කූඩයට දමා ඇවිලෙන සමාජ විකෘතියට බූමිතෙල් ගැලුම් ගණන් දමා දැන් දෙයියන්නාන්සේ සේ මේ සමාජයට තමා අයිති නැතිවාක් සේ ඇගිලි දිගු කරන්නන් සියල්ලෝම විශේෂ ජාන පරීක්ෂණයකට යොමු කල යුතුය.නුතන සමාජයේ හෝමෝ සේපියන් නමින් වෙනත් සත්ව කොට්ඨාශද වාසය කරති.

මාධ්‍ය ආයතනයකට වෙනත් ඕනෑම ආයතනයක් මෙන් ආයතනික සංකල්පය තුල කොටු වී සිටිය නොහැක.ජනමාධ්‍ය යන්නෙහි අර්ථයෙන්ම එය ජනතාව සඳහා වූවක් බව කියැවේ.ඉඳින් එය තවත් එක් ආයතනයක් යන තැනින් ඔබ්බට යා යුතුමය.එහිදී මිනිසුන්ගේ රුචිකත්වයේ බෙර පදයට සිත් සේ නටා , ඇතිවන අතුරු ඵල සියල්ලමත් මිනිසුන්ටම පටවා අත පිහදාගැනීමට තරම් නීච විය යුතු නැත.

වෙනසක් ගෙනෙන්නට හැක්කේ කොන්දක් ඇත්තෙකුට පමණී.එවැනි පෞෂත්වයකට අවධානමක් භාර ගැනීම අභියෝගයක් නොවනු ඇත.දැන් මෙරටේ මාධ්‍ය භාවිතයට එවැනි කොන්දක් අවශ්‍ය කර තිබේ.සිය රේටින්ග්ස් අවධානමට තබා එවැනි දෙයක් කල හැකි සවිමත් කොදු ඇට පෙලක් තැනෙන තුරු මේ අංශභාග තත්වය සුවකිරීම උගහටය.

          ------සඳුනිකා රත්නායක-----

Saturday, August 22, 2015

රිම් මහත්තයා

ඔහු මේ දිනවල රිම් කොම්පැණියේ වැඩ භාර ගැනීමත් සමගම මවිසින් පටබඳින ලද අලංකෘත නාමය එයයි . " රිම් මහත්තයා " ...සැබවින්ම ගැලපෙනම නාමයයි .

මවිසින් බොහෝ අවස්ථාවන්වල , මහපාරේදී පවා දේශනා කරන ලද  " රිම් එකෙන් නොයෑමට වග බලා ගත යුතු අත්‍යාවශ්‍ය කරුණු "  හරි අපූරුවට ‍බේරෙ වැවට විසි කර දමා ගෙදර යන ඔහු පෙරටත් වඩා ආතල් එකේ රිම් එකෙන්ම නැවත පැමිණෙයි .

අවසානයේදී දරුණු ලෙස යුධ වැදුණු මාගේ දේශනාත් ඔහුගේ රිම් තියරියත් හේතුවෙන් මේ වන විට දියත් කර ඇති සටන් විරාම ගිවිසුම නුදුරු දිනයකදීම අහෝසි වීමට නියමිතය .

ඒ, මේ පණ්ඩිත රිම් මහත්තයාගේ රිම් එකෙත් කෑලි ගැලවීගෙන යද්දී මා හට ටයර් පිට ටයර් ලබාදීමේ දැඩි ස්ථාවරයක ඔහු එල්බ ගැනීම නිසාවෙනි .පණ්ඩිතකම අති උත්කර්ෂවත්.ලෙස ප්දර්ශනය කරනවා මදිවාට , එතෙක් මාගේ සියලු දේශනාද තාවකාලිකව නතර කරන මෙන්  ඔහුගේ රිම් උසාවියෙන් හදිසි වාරණ නියෝගයක්ද නිකුත් කර ඇත .

ඉදින් කිසිවෙකුට තේරෙණු ඇතැයි මා බලාපොරොත්තු නොවන මේ කතාන්දරයේ ඊළග කොටස තෙක් රිම් මහත්තයා හොම්බ ඇන ගත්තද ආතල් එකේ රිම් එකෙන්ම යනු ඇත !

 ----සදුනිකා නුවන්දි රත්නායක---

Thursday, August 6, 2015

ප්‍රතිපත්ති ප්‍රකාශන


මේ වන විට මෙරටේ ප්‍රධාන දේශපාලන පක්ෂ ,සිය මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශන එලි දක්වා ඇත.ඇතැම්විට දේශපාලන පක්ෂ ඒවා එලි දක්වන්නේ තමන්ට ප්‍රතිපත්තිමය දේශපාලන ගමනක් තිබෙන බව ජනතාවට ඒත්තු ගැන්වීමටය .සෝබනයට එසේ එලි දක්වා හැරෙන පමාවෙන් ඒවා අමතක කරන නායකයෝද ඕනෑ තරම්ය .

ප්‍රතිපත්ති ප්‍රකාශනයක් යනු නමට පමණක් උත්සවාකාරයෙන් එළිදක්වන්නක් නොවේ .එතුල පක්ෂයක අනන්‍යතාවයත් ,රටක අනාගතයත් සටහන්වී තිබේ .මේ පිලිබදව වඩාත් අවධානයෙන් සිටිය යුත්තේ ජනතාවයි . එයට හේතුව වන්නේ ,ප්‍රතිපත්ති ප්‍රකාශනයක් මගින් හෙළිවන්නේ පක්ෂයක දිගු කාලින දැක්ම වුවද එසේ සදහන් වන සියලු තීරණ බලපාන්නේ ජනතාවට වන බැවිනි .

''අනාගතයට සහතිකයක් '' වුවද , '' පංචවිධ බලවේගය ''  වුවද ,නැතහොත් ''හෘද සාක්ෂියේ සම්මුතිය '' වුවද සිහි බුද්ධියෙන් කියවිය යුත්තේ සිහිතබාගත යුත්තේ එහෙයිනි .පාලකයන් ප්‍රතිපත්ති අමතක කරන විට ඒවා සිහි කැදවන්නට ජනතාව අවධියෙන් සිටීම අහිශයෙන්ම වැදගත්ය .එයට පක්ෂ පාට  භේදයක් අදාල වන්නේ නැත .
    


                                                         ------  සඳුනිකා රත්නායක -----

Thursday, July 30, 2015

සිත බරවෙලා.....

සෙරෙප්පු නැති
පොඩිත්තන් කකුල් දෙකක්
අම්මගෙ අතේ එල්ලිලා
කොටුව ස්ටෙිෂම දිගේ ඇවිදගෙන ගියා........

සෙරප්පු දෙක හුගාක් ලොකු
පොඩිත්තන් කකුල් දෙකක්
අම්මගෙ අතේ එල්ලිලා
කැලණි පාලම පහු කරන් ගියා............
ඒත් ඒ පොඩිත්තන් කකුල් තවමත්
මගේ පපුව උඩ ඇවිදිනවා..............!
                                          -- සදූ --

Tuesday, July 21, 2015

කවි අටුව

ක්ෂිතිජ ඉම වෙත පියමනින්නම්
නබෝ ගැබ සයුරු තෙර
එකතු වෙන හැටි බලාඉන්නම්............

විසල් වනයක සැගව ඉන්නම්
හිරු කිරණ තුරුලතා
සිපගන්න හැටි බලාඉන්නම් ...............

සිහිල් වැස්සක තෙමෙන්නම්
වැහි බිංදු මදනලට
පෙම් කරන හැටි බලාඉන්නම් .............

අතරමඟ මම නතරවෙන්නම්
නුඹේ සිතුවිලි මගේ හද මත
නතරවෙනතුරු බලාඉන්නම් .............!

                                        - සදූ-

කවි අටුව

විහග රාවෙට
සිසිල් පවනට
නුඹෙ නුවන්යුග සැලෙනවා

මදෙස බැලුවිට
දෙනෙත හෙමිහිට
දොඩමළුව දිලෙනවා

දෙතොලෙ පොපියන
සසත් රාවය
සුළග මවෙතට ගේනවා

නමුත් සිත මත
රගන සිතුවිලි
සිත තුලම මියෙනවා.

බියර් බෝතලේ

කළු කොළඹ දිය වෙන්න කොලම කොල පාට මුරුගන් වරුසාවක් වහින වෙලාවක අකුරුත් ඉඩ කඩ කඩාගෙන උඩපනින්නෙ තිත්ත පැටවු ගානට. ඇදේ ඉහත්තාවට පිටදීගෙන වාඩිලාගෙ...