අටුව

Tuesday, July 21, 2015

විලංගු

ජීවිතයේදී අපට වැඩිපුරම රිදවන්නේ අප වඩාත්ම ආදරය කරන අයම බව මම අසා තිබුණි. නමුත් මෙතරම් දරුණුවට එය අත්විදින්නට වෙතැයි නොසිතුවෙමි. මෙලොව අපේ ජීවිතය තීරණය කරන්නේ විනාඩියකට 72 වාරයක් ගැහෙන අපේ හදවතත් ,එසේ ගැහෙන්නට පණ පොවන හුස්ම පොදත්ය. සැබවින්ම අප ජීවත් කරන්නේ, ජීවත් වන බව අපට දනවන්නේ එයද? නැත එය නම් එසේ නොවේ. එය අප්පාන  ජීවී දේහයේ ජීවී බව රැකගන්නා යාන්ත්‍රණය පමණි. සැබවින්ම ජීවිතය යනු කුමක්දැයි අපට කියාදෙන්නේ මෙලොවදී අප, අප වෙනුවෙන් තෝරාගන්නා හුස්ම පොදය.
එය එකිනෙකාට සාපේක්ෂව වෙනස් වනවා සේම  එපමණටම ආවේණිකද වෙි. ඒ තෝරාගැනීම ඒකනේතයෙන්ම ගතේ ජීවය වෙනුවෙන් නොව සිතේ ජීවය වෙනුවෙන්ම බව ස්ථිර කොට කියනු  කැමැත්තෙමි. කෙනෙකුට එය ආදරය වන්නට පුළුවන, තවකෙකුට පවුල් ජීවිතය වන්නට පුළුවන,  තවත් කෙනෙකුට රැකියාවද , සමාජ සේවය මෙන්ම අප සිහිනෙදු නොසිතන අන් යමක් වන්නටද පුළුවන .මට එය මාගේ "ජනමාධ්‍ය ජීවිතයයි", "සංචාරයයි". මට හුස්ම ගන්නා බව දැනෙන්නේ එතුලයි. ලියන හැම අකුරක්ම මට ගෙනෙන තෘප්තිය දන්නේ මා පමණක්මය. එය සැබවින්ම  නිරාමිස සුවයකි . විටෙක සංගීතමය සංධ්වනියකි.විටෙක සොදුරු භාවනාවකි.
ඉදින් දැන් මාගේ හුස්ම සිරකොට ඇත. ආයාසයෙන් ගන්නා සුසුම් මධ්‍යයේ ස්වාධීන වීමට උත්සාහ දරන්නෙමි.
ජීවත්වන කෙටි කාලය තුළ තවත් අයෙකුට අවැසි ආකාරයට අප ජීවත් විය යුත්තේ ඇයි දැයි මට නොවැටහේ . ඇත්තටම එය විකාරයකි. එය වඩාත් තීව්‍ර  වන්නේ අපව හසුරුවීමට උත්සාහ දරන පුද්ගලයා සිය තනි කැමැත්තට සියල්ල සිදුකරන නිසාවෙනි . සිය ජීවිතය ගැන නිදහස් තීරණයක් ගන්නට මෙලොව සෑම කෙනෙකුටම සර්ව සාධාරණ අයිතියක් ඇත . ජීවත් විය  යුත්තේ මෙලෙසට යැයි කිසිවකුට,කිසිවකු අරඹයා කිව ‍නොහැක. එය ඒක පුද්ගල අයිතියකි. ආදරණීය බැදීම් තුලින් අප සිදුකරන්නේ ඒ අයිතියට ගරු කිරීමක් විනා එම අයිතිය කප්පාදු කිරීමක් නොවේ . බැදීමක තේරුම් ගැනීම රැදී ඇත්තේ එතැනය.
ඉතින් මාගේ හුස්ම පොද ,මා ජීවත් වීම කෙරෙහි අර්ථයක් එක් කරන්නට තැත් දරන සැබෑ හුස්ම පොද, විලංගු ලා ඇත්තේ මා මෙලොව මුලින්ම ආදරය කලාවූත් තවමත් එපමණටම කරන්නාවූත් හදවත් 2 කය.ඉතින් මේ විලංගු මා විසින් බිඳ දැමූ දින සැබෑ හුස්ම පොද යනු කුමක්දැයි ලොවටම හඩගා කියන්නෙමි ...............................................

           ----සදුනිකා නුවන්දි රත්නායක---

Sunday, July 12, 2015

මම ද..? මගේ හිත ද..?


ජීවිතය අපගේ වුවද, එහි සර්වබලධාරී අයිතිකරු අපම වුවද, විටෙක ඒ සියලු අයිතීන් උදුරා ගනිමින් අප අන්ත අසරණ කරන යමක් අප තුලම පවත්නා බවද, එය ඇත්තෙන්ම සියලු අධිකාරීත්වය ඉක්මවා යාමට තරම් බලවත් බවද, එසේ අසරණව සිට අකුරු කරමි. ඒ වෙනකක් නොව විටෙක ආදරණීය වූත්, චන්චල වූත්, එතරමටම මුරණ්ඩු වූත්, නපුරු වූත්, කිසි ලෙසකින්වත් නොසලකා හැරිය නොහැකි වූත් අපේම අපූර්ව වූ සිතය. ඉතින් සිතත් මමත් දෙදෙනෙක්ද..? ඔබ එසේ විමසනු ඇත. සැබැවින්ම මා දන්නේ නැත. එය සැමවිටම මාගේ අනුමැතියකින් තොරව ඉබාගාතේ යන බවත්, විටෙක මා කරන්නට යන දේට එරෙහිව කැරළි ගසා මුරණ්ඩු වී වද දෙන බවත්, මා පිළිතුරක් විමසූ විට කොහේටවත් නැති සිතිවිල්ලකින් මට දමා ගසා මුළුමුණින්ම මා අවුල් ජාලාවක් කරන බවත්, මේ මොහොතේදී මා එයත් සමඟ හොඳහැටි විරසක වී ඇති බවත් පමණක් දනිමි.

ඒ මදිවාට එයට අවැසි දේ ලියන්නට ඉඩක් දෙන්න යැයි මේ මොහොතේද මට කන් කරච්චල් කරයි. බැරිම තැන මම ඉඩක් දුන්නෙමි.

"ඔයා මාත් එක්ක තරහා උනාට මම තරහා නෑ. හුස්මයි හදගැස්මයි වගේ මේ ජීවිතේ ගෙනියන්න අපි එකට ඉන්න ඕනි. එහෙම උනා කියලා මම සමාව ගනී කියලානම් හිතන්න එපා.  මම ඉබාගාතේ ගිහින් එනකම් හරිම සන්සුන්ව, තැන්පත්ව, විනීතව ඉඳලා ඒ ආපු ඔක්කොම සිතිවිළි කවි කරලා, කවි කාරියක් වෙලා අන්තිමට මටම බනිනවා. ඔයා කවිකාරියක්නම් දැන ගන්න, මම කැරළිකාරියක්. මම් කියන දේ අහ්න්නැතිව මුරණ්ඩුකම් කරන කොට මම කැරළි ගහන්නේ නැතිව මොකක් කරන්නද.? තේරෙන්නේ නැද්ද, මේ ප්‍රශ්නෙදි වැඩි බලය තියෙන්නේ මට කියලා. අනික ඔයා හිතුවද මම ගාව ඔයා අහන ඔය බහුබූත ප්‍රශ්න ඔක්කෝටම උත්තර තියෙනවා කියලා.? මම දිවැස් තියෙන දෛවඥයෙක් නෙවෙයි. මට කියන්න පුළුවන් මම කැමති දේ ගැන විතරයි. කොහෙද ඉතින්, කියන්නේනම් මාත් එක්ක එකඟව තීරණ ගන්නවා කියලා. දැන් මොකද වෙලා තියෙන්නේ.? හරිනම් තරහා වෙන්න ඕනි මමයි"

තව ඉඩ දුන්නානම් මේ කෙහෙල්මල් හිත තව මොනවා කියයි ද කියලා මම දන්නේද නැත. සැබැවින්ම එයට ඕනෑ ඕනෑ හැටියට ජීවිතේ තීරණ ගන්න බැරි බව එය කවදා තේරුම් ගනීදැයි යන්න මා දන්නේ නැත. මා කෙතරම් මුහුකුරා ගියද එය හැමදා මුරණ්ඩු කැරළිකාරියක් වී මට අභියෝග කරනු ඇත. මේ දැන් පවා මට හරිහැටි අකුරු ගලපා ගන්නට නොදී මාගේ ඇතුලාන්තයේ යකා නටයි. මට සිත අල්ලා පොලොවේ ගසන්නට සිතෙන්නේ එවිටය.

"ඔයාලා දෙන්නා රණ්ඩුවෙලා කවදාවත් උත්තර හොයා ගන්න බෑනේ. මේ ප්‍රශ්නෙදි හිත කියන දේ අහන්න.

එවර 'බුද්ධියට' ද මෙයට හොට නොදා බැරි විය.

මාත් මගේ සිතත් මෙලෙස විරසක කර වූ ඒ මහා වියවුල "ආදරය" බව පමණක් අවසානයට ලියා තබනෙමි.

-සඳුනිකා නුවන්දි රත්නායක-

Thursday, July 9, 2015

දිනුම -පැරදුම

කාෂ්ඨක අව්වේ අවිදිගිය දෙපා මදකට නතර වුයේ ඉවසාගත නොහැකි පිපාසාවෙන් දිව ගිලෙන්නට ආසන්නව තිබු නිසාය .වතුර බෝතලයක් මිලදී ගන්නට සිත වට පිට බැලුවිට නෙතට හසුවූ දසුන මදකට විඩාව අපට අමතකරවිය .ගිනියම් අව්වේ,ඝෝෂාකාරී නලා හඩවල් මධ්‍යයේ  නාරාහේන්පිට පොලිස් ස්ථානයට නුදුරින් පිහිටි පන්සලේ තාප්පයට පිටදී පදික වේදිකාවේ වාඩි  වි හුන් එක්  රුවක්,එයට හේතු සාධක සැපයීය. පිපාසය පසෙකලා මිතුරියන් දෙදෙනාත් එදෙසට පියමන් කලේ සැබැවින්ම ඒ දසුන සංවේදී  වූ නිසාය.රෝසපැහැති  චිත්ත ගවූමකින් සැරසි දෑතෙහි වළලු දෙකක් ද ගෙලෙහි එක් පබුලු වැලක් පැළද සිටි ඇය පසෙක තිබු පන් මල්ලක් හැරුණු කොට ලොතරැයි ලැල්ලක් දෝතින් බදාසිටි , මට මාගේ මිත්තනිය සිහිගන්නවන තරම් වියපත් මහලු කාන්තාවක් වුවාය.

තම ජීවිතයට ජය පැරදුම කෙසේ වුවත් අන් අයට දිනුම විකුණන ලොතරැයි ජීවිතයක් උරුම කරගත් ඇය සමඟ කතාබහ කරන්නට සිත්වුයේද එම නිසාම වන්නට ඇත .

                                     දැනට වයස අවුරුදු 75 ක් වන ඇය නමින් V.L මාලනීය . නාරාහේන්පිට ,කිරිමණ්ඩල මාවතේ සමනල උයනේ කුඩා නිවසේ පදිංචි වී සිටින්නීය .මිට වසර 20 කට පමණ පෙර සිය සැමියාගේ මරණයෙන් පසුව ජීවිතය ගැටගසා ගැනීමට ලොතරැයි අලෙවි කිරීම තෝරාගෙන ඇති ඇය මේ වන විට වසර 20 ක් තිස්සෙම ලොතරැයි අලෙවිය සිදුකර ඇත . එම කාලය තුළ ඇයට මුහුණ දෙන්නට සිදුවූ අනේකවිදි පිඩාවන්ද ඇය හෙළිකළාය .බොහෝ කාලයකට පෙර වරෙක ඇයට තමන්ගේ කියා ලොතරැයි කුඩුවක් උරුම වී තිබුනද අසාධාරණ අය කිරීම් හේතුවෙන් ඇයට එය අහිමි වී ඇත .අනතුරුව අදාළ බලධාරීන්ගේ ක්‍රියාකලාපය නිසා ඇයට නැවතත් ලොතරැයි කුඩුවක් ලබා ගැනීමට තිබු අවස්ථාව අහිමි වී ඇත .එම නිසා අවසන ඇගේ ජීවිකාවට හව්හරණක් වුයේ  පදික වේදිකාවයි.

 ඇයගේ සිංහල උච්චාරණයේ තරමක් ගතියක් තිබු නිසා අප සිතුවේ ඒ ඇයගේ මහළු බව නිසා වන්නට ඇත කියාය .නමුදු වැඩිදුර කරුණු විමසා බැලීමේදී හෙළිවූයේ ඇය දෙමළ ජාතික බෞද්ධ කාන්තාවක් බවයි .

දරුවන් හතර දෙනෙකු සිටියද ඇය ගැන සොයා බලන්නට දැන් ය ළඟ ඉතිරිවී ඇත්තේ එක දියණියක පමණි .  අනිත් පුතුන් දෙදෙනාත් දියණියත් ජීවන සටනේ තම තමන්ගේ මවත් තුළ සිය මව අමතක කර දම ඇත .

එම මොහොතේ එක් වරම එතනින් අප පසුකර ගිය පුද්ගලයෙකු ඇත දිගු කර පෙන්වූ ඇය ''මගෙන් ගත්ත ටිකට් එකෙන් එයාට 50 000 ක් ඇදුනා ''යැයි කීවේ මුව පුර සිනසිගෙනය එතැන් පටන් කතාව ලොතරැයි කෙරෙහි යොමු විය .එය මෙතෙක් වේලා මලානික වූ ඇයගේ මුහුණටද එළියක් එක් කළේය .සාමාන්‍යයෙන් දිනකට ලොතරැයි 200 ක් පමණ අලෙවි වන ඇයගේ ලොතරැයි අතර රුපියල් ලක්ෂ 10 යේ  දිනුම්  2 ක් ද තිබී ඇත .

වැසි වසින දිනවල පදික වේදිකාව ඇයට  අහිමි වනවා පමණක් නොව එදින නොවිකෙනෙන ලොතරැයි පාඩුවත් ඇයටමය .කෙසේ නමුදු මුව පුරා සිනසිගෙන ලොතරැයි ලාල්;ලෑල්ලේ බර උසුලන ඇය ගතේ සවියට වඩා සිතේ දිරියෙන් ජීවිත ගමනේ බර උසුලාගෙන යයි . අභියෝග ඉදිරියේ  පසුබ යන බොහෝ දෙනෙකුට ඇය ''සිත ඇත්නම් පත කුඩාද '' යන කියමනට ජීවමාන සාක්ෂියකි .  

                   - සදුනිකා නුවන්දි රත්නායක-

Thursday, June 11, 2015

රටකජු

මඟ දෙපස වීදුරු පෙට්ටි තුල එක පොදියට මිරිකෙමින් ඉඟි කරන බැල්මවල් මා මඟහැර යන්නේ අසීරුවෙනි . විටෙක පෙට්ටි කඩයක යකඩ  තාච්චුවක දුම් දමමින් බැදෙන සුවඳට  මටත් නොදැනීම කටට කෙල උනයි .මඟහැර යන්නේ ගන්නට හැකියාවක් නැති නිසා නොවේ .කෙල උනන්නේ කන්නට අසවෙන්මත් නොවේ ."රටකජු ",ඇටයෙන් ඇටය කන්නට ,හෙමිහිට හපන්නට මට ඇත්තේ ලොභකමකි .ඊටත් වඩා නොඉවසිල්ලකි..ඒත් ඒ  සියල්ල එක බලසිටීමක් අභියස නතරව බලාසිටි.ඒ  නුඹ නොමැති නිසාවෙනි .විටෙක ඒවායේ රස අරන් යන්නට නුඹ  ගියානම් කන්නට මට තිබු ආසවද  රැගෙන නොගියේ මන්දැයි අසන්නට සිතේ .බොහෝ පාලු සන්දවල්වල ජනාකීර්ණ වීදිවල දුම් දමන රටකජු සුවඳට ඉව අල්ලන්නට මා පුරුදුවී ඇතත් එක ඇටයක්වත් ගෙන කට්ට් දමා ගන්නට තරම් දිරියක් තවමත් මා තුල නොමැත .ඒ තවමත් කවදා  හෝ රටකජු සපමින් ඇවිද යන්නට නුඹ එනු ඇතැයි සිතේ ඇති අහිංසක  බලාපොරොත්තුව නිසාද නැතහොත් නුඹ නොමැතිව රටකජු කෑමට මා වෛර කරන නිසදැයි කියන්නට මා දන්නේ නැත ..ඉතින් මම නුඹ එනතුරු බලා සි 
ටී ." රටකජු " මම එනතුරු බල සිටී .....................!!!     

      -සදුනිකා නුවන්දි රත්නායක-

බියර් බෝතලේ

කළු කොළඹ දිය වෙන්න කොලම කොල පාට මුරුගන් වරුසාවක් වහින වෙලාවක අකුරුත් ඉඩ කඩ කඩාගෙන උඩපනින්නෙ තිත්ත පැටවු ගානට. ඇදේ ඉහත්තාවට පිටදීගෙන වාඩිලාගෙ...