අටුව

Sunday, July 12, 2015

මම ද..? මගේ හිත ද..?


ජීවිතය අපගේ වුවද, එහි සර්වබලධාරී අයිතිකරු අපම වුවද, විටෙක ඒ සියලු අයිතීන් උදුරා ගනිමින් අප අන්ත අසරණ කරන යමක් අප තුලම පවත්නා බවද, එය ඇත්තෙන්ම සියලු අධිකාරීත්වය ඉක්මවා යාමට තරම් බලවත් බවද, එසේ අසරණව සිට අකුරු කරමි. ඒ වෙනකක් නොව විටෙක ආදරණීය වූත්, චන්චල වූත්, එතරමටම මුරණ්ඩු වූත්, නපුරු වූත්, කිසි ලෙසකින්වත් නොසලකා හැරිය නොහැකි වූත් අපේම අපූර්ව වූ සිතය. ඉතින් සිතත් මමත් දෙදෙනෙක්ද..? ඔබ එසේ විමසනු ඇත. සැබැවින්ම මා දන්නේ නැත. එය සැමවිටම මාගේ අනුමැතියකින් තොරව ඉබාගාතේ යන බවත්, විටෙක මා කරන්නට යන දේට එරෙහිව කැරළි ගසා මුරණ්ඩු වී වද දෙන බවත්, මා පිළිතුරක් විමසූ විට කොහේටවත් නැති සිතිවිල්ලකින් මට දමා ගසා මුළුමුණින්ම මා අවුල් ජාලාවක් කරන බවත්, මේ මොහොතේදී මා එයත් සමඟ හොඳහැටි විරසක වී ඇති බවත් පමණක් දනිමි.

ඒ මදිවාට එයට අවැසි දේ ලියන්නට ඉඩක් දෙන්න යැයි මේ මොහොතේද මට කන් කරච්චල් කරයි. බැරිම තැන මම ඉඩක් දුන්නෙමි.

"ඔයා මාත් එක්ක තරහා උනාට මම තරහා නෑ. හුස්මයි හදගැස්මයි වගේ මේ ජීවිතේ ගෙනියන්න අපි එකට ඉන්න ඕනි. එහෙම උනා කියලා මම සමාව ගනී කියලානම් හිතන්න එපා.  මම ඉබාගාතේ ගිහින් එනකම් හරිම සන්සුන්ව, තැන්පත්ව, විනීතව ඉඳලා ඒ ආපු ඔක්කොම සිතිවිළි කවි කරලා, කවි කාරියක් වෙලා අන්තිමට මටම බනිනවා. ඔයා කවිකාරියක්නම් දැන ගන්න, මම කැරළිකාරියක්. මම් කියන දේ අහ්න්නැතිව මුරණ්ඩුකම් කරන කොට මම කැරළි ගහන්නේ නැතිව මොකක් කරන්නද.? තේරෙන්නේ නැද්ද, මේ ප්‍රශ්නෙදි වැඩි බලය තියෙන්නේ මට කියලා. අනික ඔයා හිතුවද මම ගාව ඔයා අහන ඔය බහුබූත ප්‍රශ්න ඔක්කෝටම උත්තර තියෙනවා කියලා.? මම දිවැස් තියෙන දෛවඥයෙක් නෙවෙයි. මට කියන්න පුළුවන් මම කැමති දේ ගැන විතරයි. කොහෙද ඉතින්, කියන්නේනම් මාත් එක්ක එකඟව තීරණ ගන්නවා කියලා. දැන් මොකද වෙලා තියෙන්නේ.? හරිනම් තරහා වෙන්න ඕනි මමයි"

තව ඉඩ දුන්නානම් මේ කෙහෙල්මල් හිත තව මොනවා කියයි ද කියලා මම දන්නේද නැත. සැබැවින්ම එයට ඕනෑ ඕනෑ හැටියට ජීවිතේ තීරණ ගන්න බැරි බව එය කවදා තේරුම් ගනීදැයි යන්න මා දන්නේ නැත. මා කෙතරම් මුහුකුරා ගියද එය හැමදා මුරණ්ඩු කැරළිකාරියක් වී මට අභියෝග කරනු ඇත. මේ දැන් පවා මට හරිහැටි අකුරු ගලපා ගන්නට නොදී මාගේ ඇතුලාන්තයේ යකා නටයි. මට සිත අල්ලා පොලොවේ ගසන්නට සිතෙන්නේ එවිටය.

"ඔයාලා දෙන්නා රණ්ඩුවෙලා කවදාවත් උත්තර හොයා ගන්න බෑනේ. මේ ප්‍රශ්නෙදි හිත කියන දේ අහන්න.

එවර 'බුද්ධියට' ද මෙයට හොට නොදා බැරි විය.

මාත් මගේ සිතත් මෙලෙස විරසක කර වූ ඒ මහා වියවුල "ආදරය" බව පමණක් අවසානයට ලියා තබනෙමි.

-සඳුනිකා නුවන්දි රත්නායක-

No comments:

Post a Comment

බියර් බෝතලේ

කළු කොළඹ දිය වෙන්න කොලම කොල පාට මුරුගන් වරුසාවක් වහින වෙලාවක අකුරුත් ඉඩ කඩ කඩාගෙන උඩපනින්නෙ තිත්ත පැටවු ගානට. ඇදේ ඉහත්තාවට පිටදීගෙන වාඩිලාගෙ...