අටුව

Tuesday, July 21, 2015

විලංගු

ජීවිතයේදී අපට වැඩිපුරම රිදවන්නේ අප වඩාත්ම ආදරය කරන අයම බව මම අසා තිබුණි. නමුත් මෙතරම් දරුණුවට එය අත්විදින්නට වෙතැයි නොසිතුවෙමි. මෙලොව අපේ ජීවිතය තීරණය කරන්නේ විනාඩියකට 72 වාරයක් ගැහෙන අපේ හදවතත් ,එසේ ගැහෙන්නට පණ පොවන හුස්ම පොදත්ය. සැබවින්ම අප ජීවත් කරන්නේ, ජීවත් වන බව අපට දනවන්නේ එයද? නැත එය නම් එසේ නොවේ. එය අප්පාන  ජීවී දේහයේ ජීවී බව රැකගන්නා යාන්ත්‍රණය පමණි. සැබවින්ම ජීවිතය යනු කුමක්දැයි අපට කියාදෙන්නේ මෙලොවදී අප, අප වෙනුවෙන් තෝරාගන්නා හුස්ම පොදය.
එය එකිනෙකාට සාපේක්ෂව වෙනස් වනවා සේම  එපමණටම ආවේණිකද වෙි. ඒ තෝරාගැනීම ඒකනේතයෙන්ම ගතේ ජීවය වෙනුවෙන් නොව සිතේ ජීවය වෙනුවෙන්ම බව ස්ථිර කොට කියනු  කැමැත්තෙමි. කෙනෙකුට එය ආදරය වන්නට පුළුවන, තවකෙකුට පවුල් ජීවිතය වන්නට පුළුවන,  තවත් කෙනෙකුට රැකියාවද , සමාජ සේවය මෙන්ම අප සිහිනෙදු නොසිතන අන් යමක් වන්නටද පුළුවන .මට එය මාගේ "ජනමාධ්‍ය ජීවිතයයි", "සංචාරයයි". මට හුස්ම ගන්නා බව දැනෙන්නේ එතුලයි. ලියන හැම අකුරක්ම මට ගෙනෙන තෘප්තිය දන්නේ මා පමණක්මය. එය සැබවින්ම  නිරාමිස සුවයකි . විටෙක සංගීතමය සංධ්වනියකි.විටෙක සොදුරු භාවනාවකි.
ඉදින් දැන් මාගේ හුස්ම සිරකොට ඇත. ආයාසයෙන් ගන්නා සුසුම් මධ්‍යයේ ස්වාධීන වීමට උත්සාහ දරන්නෙමි.
ජීවත්වන කෙටි කාලය තුළ තවත් අයෙකුට අවැසි ආකාරයට අප ජීවත් විය යුත්තේ ඇයි දැයි මට නොවැටහේ . ඇත්තටම එය විකාරයකි. එය වඩාත් තීව්‍ර  වන්නේ අපව හසුරුවීමට උත්සාහ දරන පුද්ගලයා සිය තනි කැමැත්තට සියල්ල සිදුකරන නිසාවෙනි . සිය ජීවිතය ගැන නිදහස් තීරණයක් ගන්නට මෙලොව සෑම කෙනෙකුටම සර්ව සාධාරණ අයිතියක් ඇත . ජීවත් විය  යුත්තේ මෙලෙසට යැයි කිසිවකුට,කිසිවකු අරඹයා කිව ‍නොහැක. එය ඒක පුද්ගල අයිතියකි. ආදරණීය බැදීම් තුලින් අප සිදුකරන්නේ ඒ අයිතියට ගරු කිරීමක් විනා එම අයිතිය කප්පාදු කිරීමක් නොවේ . බැදීමක තේරුම් ගැනීම රැදී ඇත්තේ එතැනය.
ඉතින් මාගේ හුස්ම පොද ,මා ජීවත් වීම කෙරෙහි අර්ථයක් එක් කරන්නට තැත් දරන සැබෑ හුස්ම පොද, විලංගු ලා ඇත්තේ මා මෙලොව මුලින්ම ආදරය කලාවූත් තවමත් එපමණටම කරන්නාවූත් හදවත් 2 කය.ඉතින් මේ විලංගු මා විසින් බිඳ දැමූ දින සැබෑ හුස්ම පොද යනු කුමක්දැයි ලොවටම හඩගා කියන්නෙමි ...............................................

           ----සදුනිකා නුවන්දි රත්නායක---

No comments:

Post a Comment

බියර් බෝතලේ

කළු කොළඹ දිය වෙන්න කොලම කොල පාට මුරුගන් වරුසාවක් වහින වෙලාවක අකුරුත් ඉඩ කඩ කඩාගෙන උඩපනින්නෙ තිත්ත පැටවු ගානට. ඇදේ ඉහත්තාවට පිටදීගෙන වාඩිලාගෙ...